News

යටත් වීමේ දේශපාලනය

Gotabaya Rajapaksa

අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය සරුවට කෙරීගෙන යයි. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක නම් කොට ඇත. එහෙත්, එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අපේක්ෂකයෙකු තෝරාගත නොහැකිව තවමත් අර්බුදයක පැටලී සිටී.

ජනාධිපතිවරණ හරහා, අනාගත පාලකයන්ගේ බලය සරිකර ගැනීමට අමතරව, ජනාධිපතිවරණයෙන් දෘෂ්ටිවාදීමය වශයෙන් ජයගන්නා හෝ පරාජයට පත්වන බලගතු සමාජ කොට්ඨාශවල දේශපාලනය ඉස්මතු කිරීමට සහ වාදවිවාදයට භාජනය කිරීමටත් අවස්ථාව සැලසේ. ඉදිරි මාස කිහිපය තුළ, එක පැත්තකින් ජාතිවාදී දේශපාලනය තහවුරු කර ගැනීමත්, අනිත් පැත්තෙන් යටහත් වීමේ මැද මාර්ග දේශපාලනයත් යන ද්විත්ව අන්තරායයන් මතුවනු ඇත.

ප‍්‍රතිගාමී බලකඳවුර

ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වය අහසින් කඩාපාත් වූ දෙයක් නොවේ. එය, බරපතල දේශපාලනික විපර්යාස සිදුකිරීම් වස්, ප‍්‍රතිගාමී සමාජ කොටස්වල කඳවුරු බැඳගැනීමක මස්තකප‍්‍රාප්තියකි. පසුගිය දශක එක හමාරක් තිස්සේ උග‍්‍ර ජාතිවාදී කොටස් ඉස්ලාම්-භීතිකාවක් ව්‍යාප්ත කොට තිබේ. මෑත කාලවල මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට තුඩුදුන්නේ ඒ ප‍්‍රවණතාවයි. මෙය, නැගීගෙන එන අංකුර ෆැසිස්ට් පදනමක ස්වභාවය කියාපාන්නකි. විශ‍්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් කොටසක්, පවුරු බැඳගත් රාජ්‍ය නිලධර තන්ත‍්‍රයෙන් කොටසක්, නව ධනපති පෙලැන්තියක් නියෝජනය කරන නාගරික ව්‍යාපාරික සහ වෘත්තීය කොටස්, එවැනි උග‍්‍ර ජාතිකවාදී දෘෂ්ටිවාදයකට සහ ජාතිවාදී සමාජ තට්ටුවකට යා වී සිටිත්. මේ සියල්ලන් ඇපකැප වී සිටින්නේ, බහුතරවාදී අධිකාරීත්වය ස්ථාපනය කෙරෙන දේශපාලනික ව්‍යාපෘතියකටයි.

ගොඩනැගෙන්ට නියමිත ගෝඨාභය රාජපක්ෂ තන්ත‍්‍රය, පැවති මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රයට පිටුබලය සැපයූ සමාජ පදනමෙන් සහ දේශපාලනයෙන් කැපී පෙනන වෙනසක් පෙන්නුම් කරයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලනික ව්‍යාපෘතිය වුණේ, දේශපාලනික ක‍්‍රියාකාරී කඳවුරු රාශියක් තමාගේ ආකර්ශනයට නතුකර ගැනීමයි. සිංහල බෞද්ධ දක්ෂිණාංශය, පැරණි වම, මුස්ලිම් දේශපාලන පක්ෂ සහ සමහර දෙමළ දේශපාලනික ක‍්‍රියාකාරීත්වයන් පවා ඊට අයත් විය. ඔහුගේ පාලනය තුළද, බහුතරවාදී ප‍්‍රතිපත්ති සහ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති වේගවත් කරද්දී පවා, මේ පුළුල් අනුග‍්‍රහාත්මක සමාජ සන්ධානය ඔහු පවත්වාගෙන ගියේය. විවිධ පන්නයේ පංති කොටස් පමණක් නොව, විටෙක භේදභින්න දේශපාලනික පංති කොටස් පවා යාප්පුවෙන් තමන් වෙතට නම්මවා ගැනීමේ හැකියාව මහින්දට තිබුණි. ඒ අනුව, ජනප‍්‍රියවාදී සහ ජාතිකවාදී කතිකාව සමග පමණට මුසු කොට, තමන්ගේ අධිකාරීවාදී දේශපාලනය සරිකර ගැනීමට හේ සමත් විය. එය, දශක ගණනාවක පාර්ලිමේන්තුවේ අත්දැකීම් සහිත මුහුකුරා ගිය දේශපාලනික ප‍්‍රවීණයෙකුගේ ලක්ෂණයකි.

අනාගතයේ ඇති වන ගෝඨාභය තන්ත‍්‍රයක් ඊට වෙනස් වනු ඇත. මන්ද යත්, එහි නායකයා මෙන්ම ඔහුට පිටුබලය සපයන සමාජ කොටස්ද නග්න බලයට පමණක් ආශක්ත වන, ඕනෑම ක‍්‍රමයකින් බලය තර කරගැනීමට බලන සමාජ තීරුවලින් සමන්විත වන බැවිනි. තමන්ගේ වේගවත් නාගරික සංවර්ධන ව්‍යාපෘති ඉදිරියේ මතුවිය හැකි විරෝධතා මැඩලීමටත්, සමාජය ආම්බාන් කිරීමටත්, ඔහු පාවිච්චියට ගනු ඇත්තේ හමුදා මානසිකත්වයකින් යුතුව ක‍්‍රියාවේ යෙදවන අතිශය දරුණු ක‍්‍රියාමාර්ගයන් ය. එහිදී කිසි සමාජ විරෝධයකට ඉඩක් නොලැබෙනු ඇත.

එවැනි ෆැසිස්ට් පියවරයන්හි ගැස්ම යම් තාක් තුලනය කර ගැනීම සඳහා, බලසම්පන්න ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතාවන්ට අනුගත වීමටත් ඔහු පියවර ගනු ඇත. ඔහුට එසේ කළ හැකි වන්නේ, රට ඇතුළේ බලය ඒකාග‍්‍ර කරගැනීමෙන් පමණි. ඇත්ත වශයෙන්ම, ජාත්‍යන්තර සහයෝගයකින් තොරව කුඩා රටක ෆැසිස්ට් තන්ත‍්‍රයක් පවත්වාගෙන යාම උගහට ය. ගෝලීය අධිකාරී බලපරාක‍්‍රමය සීග‍්‍රයෙන් පැතිරෙන මෙවන් යුගයක, බලවත් ජාතීන්ගේ උනන්දුව ඇති වන්නේ අත්‍යාසන්නව අත්පත් කරගත හැකි භූ-දේශපාලනික වාසි කෙරෙහි පමණි. උදාහරණයක් වශයෙන් ගතහොත්, කුඩා රටවල් සමග ඇති කරගන්නා ද්වි-පාර්ශ්වික හමුදා සහ වෙළෙද ගිවිසුම් ගත හැකිය. අනිත් අතට, උදාහණයක් වශයෙන් ජාත්‍යන්තර නෛතික සහ වෙළෙඳ ප‍්‍රතිමානයන් හරහා දීර්ඝ කාලීනව ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමක් උදෙසා වන ලිබරල් ක‍්‍රමවේද කුඩා රටවල තුළ ස්ථාපිත කරගැනීම සඳහා යොමු වීමට වඩා එය වෙනස් ය.

එක්සත් ජාතික පක්ෂය අර්බුදයක

බාහු බලැති දැඩි නායකයන් සමග සම්මිශ‍්‍රණයෙන් ගොඩනැගෙන ජනප‍්‍රිය අධිකාරීවාදයේ ආකර්ශනය ව්‍යාප්ත වෙමින් පවතින ලෝක තත්වයක් ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය අද වන විට යල්පැනගොස් තිබේ. එය, තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා තොරාගත නොහැකිව එම පක්ෂය මේ මොහොතේ හිර වී සිටින තත්වය සම්බන්ධයෙන් පමණක් නොව, ගතවූ සිව් වසරකට වැඩි කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනයත් ඔවුන්ගේ ආර්ථික දෘෂ්ටිවාදයත්, ඔවුන්ගේ ගෝලීය නවලිබරල් ආරක්ෂකයන්ටත් වඩා ප‍්‍රතිගාමීව පසුපසින් පැවතීමෙන් එය දැකගත හැකි විය.

බටහිර ලෝකයේ කේන්ද්‍රය තුළම ආර්ථික අර්බුද ඔඩුදුවන තත්වයක් තුළ, මෙතෙක් තමන් ගෙන ගිය වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් දෘෂ්ටිවාදයේ අසාර්ථකත්වයන් පිළිගැනීමට ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට’ මෙන්ම ලෝක බැංකුවටත් මේ වන විට බල කෙරී තිබේ. එහෙත් ඔවුන් තවමත් තුන්වැනි ලෝකයේ රටවලට බෙදන්නේ වෙනම හැන්දකිනි. තවත් වචනවලින් කිවහොත්, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළින්ම තමන්ගේ අසාර්ථකත්වයන් ප‍්‍රශ්න කෙරෙන අතරේ පවා, එක්සත් ජාතික පක්ෂය බලන්නේ නිදහස් වෙළඳපොළ කේන්ද්‍ර කරගත් නවලිබරල්වාදී මන්ත‍්‍රයම ජප කිරීමටයි. ඒ සඳහා, 1980 ගණන්වල පැවති ආර්ථික මූලධර්ම තවමත් හිස තබාගෙන සිටින විශේෂඥවරුන්ගේ ග‍්‍රහණයට එම පක්ෂය නතුව තිබේ. වාසනාවකට, එම ආණ්ඩුව ශක්තිමත් එකක් නොවීම හේතුවෙන් එකී ප‍්‍රතිපත්තිවලින් කොටසක්වත් ක‍්‍රියාවේ යොදවා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

එක්සත් ජාතික පක්ෂයේ මේ දේශපාලනික බංකොලොත්භාවය, එම පක්ෂයේ දෝෂසහගත ආර්ථික දැක්ම මගින් පමණක් නොව, සුළුජාතික ප‍්‍රජාවන්ගේ අයිතීන් ආරක්ෂා දීමට ඔවුන් අසමත් වීමෙනුත්, ග‍්‍රාමීය ප‍්‍රජාව සමග යහපත් සම්බන්ධයක් ගොඩනගා ගැනීමට අසමත් වීමෙනුත් පෙන්නුම් කෙරේ. මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේත් සිදු විය. දීර්ඝ කාලීන නියඟය සහ ග‍්‍රාමීය අර්බුද ගැන ඔවුන් වැඩි යමක් කෙළේ නැත. මේ ග‍්‍රාමීය ප‍්‍රජාවන්හි අනුග‍්‍රහය ලබා ගැනීම සඳහා මුදල් යෙදවීමට ආණ්ඩුව බැලූවේ 2018 පෙබරවාරියේ පළාත් පාලන ඡන්දයෙන් හොඳටම බැටකෑ පසුව පමණි. එහෙත් අතීතයේදී මෙසේ අනුග‍්‍රහ ලබාගත් ග‍්‍රාමීය ප‍්‍රජාව පසුව වෙනත් පක්ෂයකට ඡන්දය පාවිච්චි කළ අවස්ථාත් අප දැක ඇත. දේශපාලනික අර්බුදය මෝදු වන සැටි වසර හතරකට කලින් දකින්නට අසමත් වූ එක්සත් ජාතික පක්ෂයක්, අනාගතයේ ඇතිවන තමන්ගේම අර්බුදයක් විසඳා ගැනීමට තරම් දැනුම්වත් වෙතැයි සිතිය නොහේ.

මිතුරන් සහ සතුරන්

අද ලෝකය පුරා පවතින දේශපාලනය යනු, බරපතල දෘෂ්ටිවාදී ඝට්ටනයකි. අද දේශපාලනය, ‘මිතුරන් සහ සතුරන්’ අතර සහ ‘උන් සහ අපි’ අතර ගනුදෙනුවකි. එය, සුළුතර ප‍්‍රජාවන්ට සහ සංක‍්‍රමණිකයන්ට පහර දෙන, අනෙකා පිළිබඳ භීතිකාවෙන් පෙළෙන සමාජ කතිකාවන් සහ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පිළිබඳ කතිකාවන් ඔස්සේ සිදුවන ක‍්‍රියාකාරීත්වයකි. කෙසේ වෙතත්, ඒ රුදුරු ජාතිකවාදී දේශපාලනයට යටින් ගෝලීය ප‍්‍රාග්ධනයේ බලාධිකාරය තව තවත් ගොඩගැහෙමින් සහ තව තවත් සමාජ විෂමතා වපුරමින් නිදැල්ලේ ඉදිරියට ඇදේ. ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ රාජ්‍ය තන්ත‍්‍රය ලෝක පරිමාණ වෙළෙඳ යුද්ධයක් දක්වා ගමන් කළ හැකිය. එහෙත් ‘වෝල් ස්ටී‍්‍රට්’ ලෝක මූල්‍ය පද්ධතියේ අවශ්‍යතාවන්ට ඔහු කිසි විටෙක රිදවන්නේ නැත. ඩොනල්ඞ් ට‍්‍රම්ප්, නරේන්ද්‍ර මෝඩි සහ බෝරිස් ජොන්සන්ගේ ඒ දේශපාලනය මේ මොහොතේ ක‍්‍රියාත්මක වෙමින් තිබෙන අතරේ, රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියත් එයින්ම ආවේශය ලබයි. එම තත්වය තුළ, එක්සත් ජාතික පක්ෂය, ඊටත් වඩා ජනතා විමුක්ති පෙරමුණ, එම තත්වයට ප‍්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේද?

අවාසනාවකට, රාජපක්ෂ යකඩරෝලට අභියෝග කළ හැකි, දෘෂ්ටිවාදීමය දේශපාලනික යගදාව තවමත් එක්සත් ජාතික පක්ෂයවත්, ජනතා විමුක්ති පෙරමුණවත් සතුව ඇති බවක් පෙනෙන්ට නැත. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් කැරකෙන්නේ, ජාතිකවාදී, පුනර්-හමුදාකරණ සහ සුළුජන-විරෝධී කතිකාවක් වටා නම්, එය සමාන වනු ඇත්තේ යටත් වීමේ දේශපාලනයකටයි. අති-ජාතිවාදී තරග මාවතක් පස්සේ ගෑටීම, පරාජයේ නොවරදින මාවතයි. තවද, දූෂණ විරෝධී කතාව තවදුරටත් වලංගු නොවනු ඇත. ඒ තරමට එය, දශකයක් තිස්සේ පට්ටගසා ඇතිවාට අමතරව මේ වන විට කවුරුත් දූෂිත ලේබලය අලවාගෙන ය.

මැද පංතික ජනතාවට ආමන්ත‍්‍රණය කිරීමට තැත් කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණ පංති දේශපාලනයේ න්‍යාය පත‍්‍රයක් ඉදිරියට නොදමයි. සමහරවිට ඔවුන් සිතනවා ඇත්තේ, සුපිරිසුදු විරෝධතා දේශපාලනයේ මුද්‍රාව යටතේ වාසි ලබාගත හැකිය කියා විය හැකිය. එසේම, විද්වත් සහ විශේෂඥ කණ්ඩායමක් තමන් වටා සිටීමත් වාසියක් යැයි ඔවුන් සිතනවා විය හැකිය. එහෙත් වර්තමාන අර්බුදයට ඔවුන් ඉදිරිපත් කරන විසඳුම කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණේ යෝධ රැළිය ගැන ප‍්‍රශංසාවෙන් කතා කරන අයවළුන්ට මට කීමට ඇත්තේ, යෝධ රැළියක් තාවකාලික බල සංදර්ශනයක් පමණක් වන බවයි. රාජ්‍ය බලය ඩැහැගැනීමේ ඉද්දර සිටින රාජපක්ෂ කඳවුර, ජනතා විමුක්ති පෙරමුණ විසින් අභියෝගයට ලක්කරනු ලබන්නේ කෙසේද? දේශපාලන පක්ෂයක් වශයෙන් තමන්ගේ සාමාජිකත්වය ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ රැහැනින් ජනතා විමුක්ති පෙරමුණ බැඳී සිටිනවා විය හැකිය. එසේ හෙයින් ජනාධිපතිවරණයේදීත් රාජපක්ෂලාට අභියෝගයක් වශයෙන් පක්ෂ ව්‍යාපාරය ඔසවා තැබීමක් අත්‍යාවශ්‍ය යැයි ඔවුන් සිතනවා විය හැකිය. එහෙත්, විසම්මුතියේ සමාජ කාරකයන් වන බුද්ධිමතුන්, ෆැසිස්ට් දේශපාලනික ග‍්‍රහණයට අභියෝග කිරීමේ දෘෂ්ටිවාදීමය අරගලය පිළිබඳ ප‍්‍රශ්නය විසඳා ගැනීමෙන් තොරව, හුදෙක් ජනතා විමුක්ති පෙරමුණු ව්‍යාපාරයට බද්ධ වීම, ගෝඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණයට යටත් වීමට සමාන ය.

අප කැමති වූවත් නැතත්, මේ ජනාධිපතිවරණය යනු, ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සමාජ පදනම පිළිබඳ කාරණයක් වන්නේය. ඔහු ජයග‍්‍රහණය කළොත් එය මෙරටේ බහුතරවාදී (බහුතරයේ ආධිපත්‍යය පමණක් රජ කරන) රාජ්‍ය ප‍්‍රතිපත්තිවල ජයග‍්‍රහණයක් වන්නේය. එය, රට හමුදාකරණය වීමේ මාවතක් වන්නේය. බෙලි කපාගන්නා නාගරික ව්‍යාපාරික පෙලැන්තියේ සේවාවට නතුවන ආර්ථික මාදිලියක ජයග‍්‍රහණයක් වන්නේය. ජාතිභේදවාදී වෘත්තිකයන්ගේ ජයග‍්‍රහණයක් වන්නේය. ඒ කොටස්වල අවශ්‍යතා ඉදිරියට ගෙන යනු ඇත්තේ මේ රටේ මුස්ලිම් සහ වෙනත් සුළු වාර්ගික කොටස් බිල්ලට ගනිමිනි.

රාජපක්ෂ මෙහෙයුමට එරෙහි දෘෂ්ටිවාදීමය විරෝධය තුළ, පවතින සමාජ පදනම් ගැන අප සිතා බැලිය යුතුය. ‘මිතුරන් සහ හතුරන්’ ගැන අප සිතා බැලිය යුතුය. සෑම ආගමක සහ ජාතියකම ජනතා ‘මිතුරන්’ නිර්මාණය කෙරෙන ග‍්‍රාමීය ප‍්‍රජාවන්ගේ, කම්කරු කොටස් සහ නාගරික ප‍්‍රජාවන්ගේ අවශ්‍යතාවන් සුසංයෝගීව ඒකාබද්ධ කරගන්නා අතරේම, සියල්ලන් ඒකරාශි කරගන්නා බහුත්වවාදයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව සිටින ‘සතුරන්’ ගැන බලාගන්නේ කෙසේද? මේ මැතිවරණයේදී, පංතිය සහ වාර්ගිකත්වය පිළිබඳ මූලික කරුණු උඩින්පල්ලෙන් ගැනීම පරාජයේ නිත්‍ය සහතිකයක් වන බව කිව යුතුය.

අනිත් අතට, ප‍්‍රතිගාමී රාජපක්ෂ බලකඳවුරට දෘෂ්ටිවාදීමය වශයෙන් අභියෝග කොට මේ ජනාධිපතිවරණයේදී පරාජය කිරීම, මර්දනකාරී තන්ත‍්‍රයක් දීර්ඝ කාලීනව යළි ස්ථාපිත වීමක් වැළැක්වීමට අමතරව, ජාතිවාදි සමාජ බලවේග අධෛර්යමත් කොට පරාජය කිරීමටත් වැදගත් වන්නේය. ආපසු හැරී බලන විට, 2015 ජනවාරි රාජ්‍ය වෙනසේ විශාලතම අසාර්ථකත්වය වන්නේ, ව්‍යවස්ථාමය දේශපාලනික විසඳුමක් ඇති කර ගැනීමට අසමත් වීම සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ සදොස් දැක්මක් සහිතව ක‍්‍රියා කොට තිබීම පමණක් නොව, ජාතිවාදී දේශපාලනයට යළි කරළිය භාර දීමට ද පාර කපා තිබීම වන්නේය.

*2019 සැප්තැම්බර් 2 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Politics of Surrender” නමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Source:Colombo Telegraph