දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භය

ලංකාවේ රුසියානු තානාපති යූරි මැටෙරෙයි –

2019 සැප්තැම්බර් 1 වැනි දාට, දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වී වසර 80 ක් ගතවෙයි. මිනිස් වර්ගයාගේ ඉතිහාසය තුළ ඇති වූ මේ අතිශය විනාශකාරී සහ ලේ වැකි යුද්ධය වසර 6 ක් තිස්සේ දිග්ගැස්සී 1945 සැප්තැම්බර් 2 වැනි දා අවසන් විය.

රටවල් 61 ක් ඒ යුද්ධයට සම්බන්ධ විය. එය, ලෝක ජනගහනයෙන් බිලියන 1.7 ක් හෙවත් එදා මිහිපිට සිටි ලෝක ජනගහනයෙන් සියයට 80 ක් ජනතාවකි. යුද්ධයෙන් නැති වූ ජීවිත සංඛ්‍යාව මිලියන 60 කට අධිකයි. ඉන් අති බහුතරය සාමාන්‍ය සිවිල් වැසියන් ය. වැඩිම විනාශය අත්වූයේ සෝවියට් දේශයටයි. මිලියන 26.6 ක් සෝවියට් ජනතාව එහිදී ජීවිතක්ෂයට පත්විය. ඊට හේතුව, නට්සි ජර්මානු හමුදාවන්ගෙන් තුනෙන් දෙකක් යොදවා තිබුණේ නැගෙනහිර යුද පෙරමුණේ වීමයි.

දෙවැනි ලෝක යුද්ධය ආරම්භයට මත්තෙන්, විවිධ රාජ්‍ය තාන්ත‍්‍රික සහ දේශපාලනික කරුණු ගණනාවක් සිදුවිය. නට්සිවාදී ජර්මනිය ඉතා බලගතු නූතන හමුදාවක් ගොඩනගා තිබුණා පමණක් නොව, ෆැසිස්ට්වාදී යුරෝපා රාජ්‍ය සමූහයක්ම ඔවුන්ගේ සහායටත් එක් කරගෙන සිටියේය.

සෝවියට් රුසියාව කෙතෙක් වෑයම් කළත් යුද්ධය වැළැක්විය නොහැකි විය. බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, නට්සිවාදී ජර්මනිය සහ ෆැසිස්ට්වාදී ඉතාලිය අතර 1938 සැප්තැම්බරයේ අත්සන් තැබුණු ‘මියුනික් ගිවිසුම’ හරහා ‘සතුරා නැළවීමේ ප‍්‍රතිපත්තිය’ කූටප‍්‍රාප්තියට පත්වීම තුළින්, යුරෝපයේ පැවති දේශපාලනික තත්වය දෙදරවාලූ අතර අවසානයේදී ලෝක යුද්ධයට තල්ලූ කෙරුණි. මේ ගිවිසුම යටතේ, තමන්ගේ රටෙන් කෑල්ලක් ‘ස්වේචඡාවෙන්’ ජර්මනියට පවරා දීමට චෙකොස්ලොවැකියාවට බල කෙරුණි.

එය, යුද්ධයේ ආරම්භයයි. ඊළඟට, හිට්ලර්ගේ සැලැස්ම තුළ ඉලක්ක කෙරුණේ පෝලන්තයයි. ජරමානු ආක‍්‍රමණයක් ඉදිරියේ ඊට එරෙහිව අන්‍යොන්‍ය සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සඳහා වන පොදු ගිවිසුමකට ඇතුළත් වීම සඳහා බි‍්‍රතාන්‍යයට සහ ප‍්‍රංශයට ඒ වන විට සෝවියට් දේශය කළ ඇවිටිලි නිරර්ථක විය.

එවැනි තත්වයක් තුළ, පැහැදිලි ආක‍්‍රමණකාරී තත්වයක් ඉදිරියේ තමන් තනි වී සිටි අවස්ථාවක, ජර්මනිය මගින් තමන්ව ‘ආක‍්‍රමණය නොකරන’ බවට වන ගිවිසුමක් 1939 දී ජර්මනිය සමග අත්සන් කිරීම හැර වෙනත් විකල්පයක් සෝවියට් දේශයට තිබුණේ නැත. එය, ‘මොලටෝව්-රිබන්ට්‍රොප් ගිවිසුම’ නමින් හැඳින්වේ.

හිට්ලර්ව යුද්ධයට තල්ලූ කෙළේ මේ ගිවිසුම නිසා යැයි කියමින් අද ඉතිහාසය ‘නැවත ලිවීමට’ තැත් කරන සමහරු, 1938 දී අත්සන් කෙරුණු ‘මියුනික් ගිවිසුම’ අමතක කරති. ඇත්තෙන්ම, ‘මොලටෝව්-රිබන්ට්‍රොප්’ ගිවිසුම අත්සන් කිරීම නිසා, අවුරුදු දෙකකට ආසන්න කාලයක් පුරා හිට්ලර්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීම වළක්වා ගැනීමටත්, ඒ කාලය තුළ සෝවියට් දේශයේ ආරක්ෂක බලසේනා තර කර ගැනීමටත් සෝවියට් දේශයට හැකියාව ලැබුණි.

1939 සැප්තැම්බර් 1 වැනි දා, ජර්මානු ඔත්තු සේවාවන් මගින් අවුළුවන ලද ප‍්‍රකෝපකාරීත්වයක් පාවිච්චියට ගෙන, ජර්මනිය පෝලන්තයට එරෙහිව හමුදා ක‍්‍රියාකාරකම් ඇරඹීය. ඉන් දින දෙකකට පසු, එංගලන්තයත්, ප‍්‍රංශයත් ජර්මනියට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කෙළේය. ඒ සමගම, ඔවුන්ගේ සහායට, කැනඩාව, නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාවත් ජර්මනියට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කෙළේය. එහෙත්, අවශ්‍ය කරන සැබෑ සහායක් ඒ මගින් පෝලන්තයට ලැබුණේ නැත.

මීට වසර 80 කට පෙර, 1939 සැප්තැම්බර් 1 වැනි දා, දෙවැනි ලෝක යුද්ධයේ පළමු අදියර දියත් වුණේ එසේ ය. 1940 මැයි වන තෙක්, එංගලන්තය සහ ප‍්‍රංශය තමන්ගේ ප‍්‍රතිපත්ති වෙනස් කෙළේ නැත. ජරමනිය ඔවුන්ගේ ආක‍්‍රමණකාරීත්වය එල්ල කරනු ඇත්තේ යුරෝපයේ නැගෙනහිර කලාපය දෙසට පමණක් විය හැකිය යන්න ඔවුන්ගේ විශ්වාසය විය. එහෙත් අනතුරුව සිදුවීම් පෙළගැසුනේ එයාකාරයෙන් නොවේ.

1940 අපේ‍්‍රල් මාසය වන විට, ඩෙන්මාර්කය සහ නෝර්වේ රාජ්‍යය ජරමානු හමුදාවන්ට යටත් විය. එසේම, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ලක්ෂෙම්බර්ග් යන අවට රටවල් හරහා ජරමානුවෝ ප‍්‍රංශයටත් පහර දුන්හ. නෙදර්ලන්තය සහ බෙල්ජියම යටත් විය. ප‍්‍රංශ නාවුක බළඇණිය පරාජය විය. ප‍්‍රංශයේ ඩන්කර්ක් වරාය කලාපයේ කඳවුරු බැඳ සිටි ප‍්‍රංශ, බි‍්‍රතාන්‍ය සහ බෙල්ජියම් සන්නද්ධ සේනා ජර්මානුවන් විසින් වැටලීම හේතුකොටගෙන, එම හමුදා එංගලන්තය වෙත පසුබැස්සවීමට සිදුවිය. මේ අතර, ප‍්‍රංශ ආණ්ඩුව පැරිසියෙන් පළාගොස්, ජර්මනියට යටත්වීමට අත්සන් කෙළේය.

ඊළඟට තිබුණේ, එක්සත් රාජධානියයි. එම දිවයින වටලෑ ජර්මනිය, ඉංගී‍්‍රසි නගරවලට අහසින් බෝම්බ දමන්නට විය. 1940 දී බි‍්‍රතාන්‍ය විසින් තිරසාරව සිය රට ආරක්ෂා කරගැනීම තුළ, ජර්මානු ආක‍්‍රමණය තාවකාලිකව මැඩලිය හැකි විය. මේ කාලය තුළ, යුද්ධය බෝලකන් රටවල් දෙසට ව්‍යාප්ත විය.

1940 අපේ‍්‍රල් මාසයේදී ජර්මානු ෆැසිස්ට්වාදීහු, බල්ගේරියාව, ග‍්‍රීසිය සහ යුගෝස්ලාවියාව අල්ලාගත්හ. එනම්, සමස්ත බටහිර යුරෝපයමත්, සමස්ත මධ්‍යම යුරෝපයමත් හිට්ලර්ගේ යටතට පත්වූ බවයි. එපමණක් නොව, යුරෝපයේ සිට ලෝකයේ වෙනත් කලාපවලටත් යුද්ධය ව්‍යාප්ත විය. ඉතාලි-ජර්මානු හමුදා, උතුරු අප‍්‍රිකානු රටවලට එරෙහිව ප‍්‍රහාර දියත් කළහ. 1941 වසන්තය වන විට, මැද පෙරදිග සහ ඉන්දියාව ජයගැනීමේ සැලසුම් ජර්මානුවන් විසින් ඒ වන විට සකස් කෙරෙමින් තිබුණි.

1941 ජුනි 22 වැනි දා ජර්මනිය සෝවියට් දේශයට පහර දුනි. ඉතිහාසයේ පෙර නොවූ විරූ තරමේ විශාල හමුදාවක් ඒ සඳහා යොදාගැනුණි. හමුදා බළඇණි 182 ක් සහ සේනාංක 20 ක් ඊට අයත් විය. එනම්, මිලියන 5 ක මිනිස් හමුදාවක්, යුදටැංකි 4400 ක්, අහස්යානා 4400 ක්, 47,000 කට අධික තුවක්කු සහ මෝටාර් සංඛ්‍යාවක් සහ නැව් 246 කි. මෙහිදී, රුමේනියාව, පින්ලන්තය සහ හංගේරියාව ආක‍්‍රමණකාරීන්ගේ පැත්තේ සිටි අතර, බල්ගේරියාව, ස්ලොවැකියාව, ක්‍රොඒෂියාව, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ තුර්කිය ආක‍්‍රමණකාරීන්ට ආධාර උපකාර කෙළේය.

එහෙත්, සෝවියට් දේශයට එරෙහි ආක‍්‍රමණය, හිට්ලර් සිතූ ආකාරයෙන් සාර්ථක නොවුණි. මොස්කව් සහ ලෙනින්ග‍්‍රෑඞ් නගර අල්ලා ගැනීම ව්‍යර්ථ කෙරුණි. මොස්කව් සටනේදී ජරමානුවන් පරාජයට පත්කිරීම මගින්, ඔවුන්ගේ හමුදා ශක්තිය පිළිබඳව එතෙක් පැවති අද්විතීයත්වය පිළිබඳ මිථ්‍යාව පුපුරුවා හරින ලදි. ලෝකයේ සියලූ හමුදා බලවේග, ජරමානු ෆැසිස්ට්වාදයට එරෙහිව එක්සත් පෙරමුණක් වශයෙන් නැගී සිටීමට පටන්ගත්තේ ඒ අවස්ථාවේ ය. 1941 අගෝස්තුවේදී එංගලන්තය සහ ඇමරිකාව ‘අත්ලාන්තික ප‍්‍රඥප්තිය’ ඇති කරගත් අතර, සෝවියට් දේශයත් ඊට සම්බන්ධ විය.

දෙවැනි ලෝක යුද්ධය ආරම්භයේ පටන් වසර 80 ක් වැනි දීර්ඝ කාලයක් මේ වන විට ගතවී ගොස් තිබේ. එහෙත් අප එය කිසි දවසක අමතක කර දැමිය යුතු නැත. එය මිනිස් ඉතිහාසයේ අතිශය වැදගත්, ඉතිහාසයේ ගමන් මග නිශ්චය කළ, සන්ධිස්ථානයකි.

‘සාමූහික සියදිවි නසාගැනීමේ’ ඛේදවාචකයක් ඇතිවීමට මිනිස් වර්ගයා ඉඩ තැබිය යුතු නැත. මිනිස් වර්ගයට අදාළ ඕනෑම ජගත් ප‍්‍රශ්නයක්, නුතන ලෝකයේ මොන තරම් ගැටුම්කාරී තත්වයන් පැවතියත්, නිරාකරණය කරගත යුත්තේ ඒකාබද්ධ ප‍්‍රයත්නයන් තුළිනි.

මේ යුද්ධය ගැන අලූත් පරම්පරාව කිසිවක් නොදැන සිටියොත්, නට්සිවාදය උත්කර්ෂයට පත්කිරීමෙන් ලෝක සාමයට අත්විය හැකි විපත ඔවුන් තේරුම් නොගෙන සිටියොත්, ලෝකය නැවතත් මහා ව්‍යවසනයක ඉද්දරට පැමිණිය හැකිය.

*2019 සැප්තැම්බර් 2 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “The Beginning of the Second World War” නමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Source:Colombo Telegraph