News

ගෝඨාභය වෙනුවෙන් ගින්නේ සහ රුධිරයේ පාලමක්?

Gotabaya Rajapaksa

තිසරණී ගුණසේකර

‘‘ඕනෑම දෙයක් හරහා බලය ගැනීමට තතනන්නා,  ඒ සඳහා පාවිච්චියට ගත හැකි බිය නමැති සමාජ දුබලතාව හඳුනාගනී.’’ – කාල් සේගන් (‘යක්ෂාවතාර ලෝකය: අන්ධකාරයට විලක්කුවක් වශයෙන් විද්‍යාව)

ශී‍්‍ර ලංකාවේ ඊළඟ ජනාධිපති වීමට ගෝඨාභය රාජපක්ෂ තුළ ඇති දැවෙන ආශාව සතපා ගැනීමට නම්, මිලියන 1.4 ක අමතර ඡන්ද ප‍්‍රමාණයක් ඔහුට අවශ්‍ය කෙරේ. වර්තමාන ලංකාවේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව මිලියන 16 ක් පමණ වෙයි. 2015 දී සිද්ධ වුණා සේ, එයින් සියයට 82 ක් ඡන්ද පොළට ආවොත්, ඡුන්දය පාවිච්චි කරන මුළු ප‍්‍රමාණය මිලියන 12.8 ක් වනු ඇත. ඔවුන් අතරින්, ප‍්‍රතික්ෂේප වන ඡන්ද ප‍්‍රමාණය සියයට 2 නොඉක්මවන්නේ නම්, පළමු ඡන්දයෙන් කෙලින්ම ජයග‍්‍රහණය කිරීමට නම් (එනම් සියයට 50 සීමාව ඉක්මවීමට නම්) කෙනෙකු ඡන්ද මිලියන 6.4 ක් (ලක්ෂ 64 ක්) පමණ ලබාගත යුත්තේය.

2018 පළාත් ආයතන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කෙළේ ඡන්ද මිලියන 5 ක් ලබාගනිමිනි. ඊළඟට එළැඹෙන ජනාධිපතිවරණයේදී පළමු ඡන්දයෙන්ම ජයග‍්‍රහණය කිරීමට නම්, ගෝඨාභය රාජපක්ෂ, ඒ මිලියන 5 ට අමතරව, තව ඡන්ද මිලියන 1.4 ක් (තව ලක්ෂ 14 ක්) ලබාගත යුත්තේය.

දේශපාලනිකව ගත්තත්, ගණිතමය වශයෙන් ගත්තත්, එය පෑහිය නොහැකි තරමේ ඉතා දුෂ්කර කර්තව්‍යයකි. එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ ඇති අභියෝගය ඊටත් වඩා බරපතල බව ඇත්ත. ඔවුන් යා යුතු මග ඊට වඩා දුර ය. ඔවුන් ජයග‍්‍රහණය කිරීමට නම්, 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ඡන්ද මිලියන 3.6 සොච්චමට අමතරව, තවත් මිලියන 2.8 ක් (තව ලක්ෂ 28 ක්) ඔවුන් ලබාගත යුතුව තිබේ. එසේ වීමටත්, ඔවුන්ගේ කුලල් කා ගැනීම නාමයෝජනා කාලයට කලින් නතර විය යුතුව තිබේ. දැනට සජිත් පේ‍්‍රමදාසත්, රනිල් වික‍්‍රමසිංහත් මුළුමණින් නිරතව සිටින්නේ අලියා ඝාතනය කිරීමටයි. එක්කෙනෙක් මහ දවාලේ ය. අනෙකා, හොර රහසේ කළුවරේ ය. ඒ දෙන්නාගේ මේ ළදරු හැසිරීම, රණසිංහ පේ‍්‍රමදාස සහ ජේ. ආර්. ජයවර්ධන ජීවතුන් අතර සිටියේ නම්, ඔවුන් තුෂ්ණීම්භූත කැරවීමට සමත් වනු ඇත. ඒ පැරණි නායකයෝ දෙන්නාම, පක්ෂයේ එක්සත්භාවය වෙනුවෙන් තමන්ගේ පුද්ගල ඕනෑඑපාකම් හැම විටකම පැත්තකින් තිබ්බෝය. එහෙත් ඔවුන්ගේ පුත්තු සහ බෑනලා, තාත්තලා සහ මාමලා ඒ වගේ නොවෙත්. සජිත් පේ‍්‍රමදාසගේ පුරසාරම සහ රනිල් වික‍්‍රමසිංහගේ මුරණ්ඩුව, එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණමය අපේක්ෂාවන්ට මේ මොහොතේ හතුරුව සිටී. ඊටත් වඩා, මෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හුදු පැවැත්මටම තර්ජනයක්ව සිටී.

පොදුජන පෙරමුණේ 2018 පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණය ගැන ඇති කරගෙන තිබෙන අතිශයෝක්තිය පසුපස අස්පෂ්ට ගණිතමය යථාර්ථයක් සැඟව ඇත. එම පක්ෂය එහිදී ලබාගත් ඡන්ද ප‍්‍රමාණය, සියයට 50 සීමාව ඉක්මවා ගියේ නැත. ඒ අසලකට හෝ පැමිණියේද නැත. ඔවුන් ලබාගත්තේ සියයට 40 ක ප‍්‍රතිශතයක් පමණි. (එය, එක්සත් ජාතික පක්ෂය ලබාගත් සියයට 29.4 ට බොහෝ ඉදිරියෙන් සිටි බව ඇත්ත. එහෙත් හම්බන්තොටදී ප‍්‍රදර්ශනය කෙරුණු එක්සත් ජාතික පක්ෂ කැරැට්ටුව කියාපෑවේ ඊටත් වඩා අඳුරු ස්වභාවයකි. එනම්, සියයට 25.5 කි)

එය, පාර්ලිමේන්තු මැතිවරණයක් විණැයි මොහොතකට සිතන්න: එම ජයග‍්‍රහණය තුළින් ආණ්ඩුවක් පිහිටුවීමට පවා පොදුජන පෙරමුණට නොහැකි වනු ඇත. එය, ජනාධිපතිවරණයක් විණැයි මොහොතකට සිතන්න: එහිදී පළමු ඡන්දයෙන් තේරී පත්වෙන කිසි ජයග‍්‍රාහකයෙකු නොසිටිනු ඇත. ජනාධිපතිවරයා තෝරා ගැනීමට, ඒ නිසා, දෙවැනි සහ තුන්වැනි මනාප ඡුන්දත් ගණන් කිරීමට සිදුවනු ඇත.

ඉතිං, ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ තරඟයේ ඉදිරියෙන් සිටියත්, තවත් අමතර ඡුන්ද මිලියන 1.4 ක් ලබා නොගත්තොත් ඔහු ජයග‍්‍රාහකයා නොවනු ඇත. ඒ සීමාව දක්වා යාම පහසු නැත. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලනික සහ චරිත ස්වභාවය දෙස බලන විට, මේ අමතර ඡන්ද මිලියන 1.4 ම පාහේ ඔහුට සොයා ගැනීමට සිදුවනු ඇත්තේ සිංහලයන්ගෙන්මයි.

ප‍්‍රධාන පක්ෂ දෙකට අමතරව තරඟයට එන තෙවැනි පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයන්, ගෝඨාභය රාජපක්ෂට තවත් හිසරදයක් ඇති කරවනු ඇත. පොදුජන පෙරමුණට මේ මොහොතේ ඇති ප‍්‍රබල ඡන්ද පවුරට සීරීමක්වත් ඇති කිරීමට ඔවුන්ට හැකියාවක් නැත. ඊටත් වඩා, ඔවුන් විසින් තමන් වෙතට ඇද ගනු ඇත්තේ, බොහෝ විට එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයන්වයි. එහෙත් ඔවුන් තරඟයට පැමිණීම නිසා සිදුවන එක දෙයක් තිබේ. එනම්, රාජපක්ෂ-විරෝධී කඳවුරේ සිටින අපේක්ෂාභංගත්වයට පත් ඡන්දදායකයන්ව නැවතත් ඡන්ද පොළට ගෙන්වා ගැනීමට ඔවුන්ට හැකියාව තිබීමයි. එය ප‍්‍රතිඵල දෙකකට තුඩුදෙයි. එකක් වන්නේ, පාවිච්චි කෙරෙන සමස්ථ ඡන්ද ප‍්‍රමාණය ඉහළ යාමයි. දෙවැනුව, ඒ හේතුව නිසාම, පළමු ඡන්දයෙන්ම ජයග‍්‍රාහකයා වීමට ගෝඨාභයට අවශ්‍ය කරන අමතර ඡන්ද ප‍්‍රමාණය තවත් ඉහළ යාමයි.

දෙවැනි සහ තෙවැනි මනාපත් ලකුණු කරන්නැයි තමන්ගේ අනුගාමිකයන්ගෙන් මේ තෙවැනි පාර්ශ්වයේ තරඟකරුවන් ඉල්ලා සිටියොත් ගෝඨාභය රාජපක්ෂගේ තත්වය තවත් අසීරු වනු ඇත. මේ ඡුන්දදායකයන්ගෙන් බොහොමයක් දෙනා රාජපක්ෂ-විරෝධීන් වීම නිසා, ඔවුන්ගේ දෙවැනි සහ තෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පාවිච්චි නොවනු ඇත. එවැනි තත්වයක් තුළ, පළමු ඡන්දයෙන් ගෝඨාභය ඉදිරියෙන් සිටියත්, දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීමේදී ඔහු පරාජය වීමට ඉඩ තිබේ.

පළමු වරට ඡන්දය පාවිච්චි කරන්නන්ගේ ඡන්දය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ කෙලින්ම ජයග‍්‍රහණය කරනු ඇති බවට ඉදිරිපත් කෙරෙන තර්කය සාවද්‍ය ය. කලින් කී මිලියන 1.4 හිඩැස පිරවීමට තරම් වන අලූත් ඡන්දදායකයන් සංඛ්‍යාවක් මෙවර එකතු වන්නේ නැත. ඊටත් වඩා, ඒ අලූත් ඡන්දදායකයන්ගෙන් යම් කොටසක් සිංහල නොවන පිරිස්ද වන බවත් මතක තබාගත යුතුය.

කරුණු එසේ වෙතත්, මනාප ගණන් නොකර පළමු ඡන්දයෙන්ම ජයග‍්‍රහණය කිරීමට ගෝඨාභය රාජපක්ෂට හැකි විය හැකි අවස්ථා තුනක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද තමන්ට ලබාගැනීමයි. එහෙත් මෛත‍්‍රීපාල සිරිසේන ඒ සඳහා තමන්ට අගමැතිකම ඉල්ලා නොසිටීවිද? එසේම, පොහොට්ටුව ලාංඡනය යටතේ තරඟ වැදීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැමති වේව්ද? ඒ ශක්‍යතාවන් දෙකම, දැනට පෙනෙන හැටියට, දුරස්ථ ය. 2018 පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය/එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනා ගත් මිලියන 1.5 ක් වන ඡන්දවලින් යම් ප‍්‍රමාණයක් තමන් වෙතට ඇද ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත් විය හැකි වෙතත්, එම ප‍්‍රමාණය මීට ඉහතින් කී මිලියන 1.4 ක හිඟය පියවා ගැනීමට කොහෙත්ම නොසෑහෙනු ඇත.

දෙවැන්න වන්නේ, එක්සත් ජාතික පක්ෂය එහි මනෝභාවයෙනුත්, ව්‍යුහමය වශයෙනුත් බෙදී වෙන් වීමයි. එසේ විය හැක්කේ, රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට, සජිත් පේ‍්‍රමදාස වෙනත් පක්ෂයකින් තරඟ කළොත් ය. එවිට, රාජපක්ෂ පරාජය කිරීම කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ කඳවුරම කඩා ඉහිරවෙනු ඇත. එවැනි ව්‍යවසනයක් ඇති විය නොහැක්කක් නොවුණත්, ගෝඨාභය රාජපක්ෂට එවැන්නක් මත පමණක් යැපෙන්නට පිළිවන්ද?

තුන්වැන්න වන්නේ, සුළු ජාතීන්ට විරුද්ධ භීතිකා ව්‍යාපාරයක් උච්ච ස්ථානයකට ගෙන ඒමයි. එවැනි තත්වයක් තුළ තමන්ගේ පැවැත්ම පිළිබඳ මහා භීතිකාවක් සිංහලයන් තුළ ඇති කොට, ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකුට පමණක් තමන්ව බේරාගත හැකි බවට හැඟීමක් සිංහලයන් අතර පැලපදියම් කළ හැකිය.

විපතට පත් දේශයක තර්ජිත ගැලවුම්කාරයෙක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අභිෂේක ලත් සැණින් ගෝඨාභය රාජපක්ෂ තමාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ (ලංකාවේ බුද්ධි අංශ කොපමණක් තිබේද?) තමාට වාර්තා කොට ඇති බව ජනාධිපති සිරිසේනට ලියා දැන්නුවේය. ඩග්ලස් දේවානන්ද, කරුණා අම්මාන් සහ තමාව ඝාතනය කිරීම සඳහා මැලේසියාවෙන් විශේෂ ආයුධයක් ගෙන්වා ඇති බව එහිදී ඔහු කියා තිබේ.

ඊට දින කිහිපයකට පසු පලෙයි රෝහලට අනුබද්ධිත වෛද්‍යවරයෙකු ත‍්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගන්නා ලදි. ඒ, කොටි සංවිධානය නැවත නගා සිටුවීමට ඔහු තැත් කෙළේය යන චෝදනාව යටතේ ය. ශ‍්‍රී ලංකා පොදුජන පක්ෂ ප‍්‍රචාරකවාදියෝ මේ සිද්ධිය, ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැත පිළිබඳ කතාවත් සමග විවිධ ආලවට්ටම් දමා ගැටගැසූහ.

උදාහරණයක් වශයෙන්, ගෝඨාවාදී වෙබ් අඩවියක් වන ‘ලංකා සී නිව්ස්’ හි ‘ගෝඨා ඝාතනය කිරීමට තුවක්කුකරුවන් ගණනාවක්’ යන සිරස්තලය යටතේ ලියා තිබුණේ, අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගෝඨාභය රාජපක්ෂට අමතර ආරක්ෂාව සපයන ලෙස ත‍්‍රස්ත විමර්ශන ඒකකයෙන් උදක්ම ඉල්ලා ඇති බවයි. එහෙත් පසුව මේ ගැන පොලීසිය නිල නිවේදනයක් ප‍්‍රකාශයට පත්කෙළේය. එයින් කියැවුණේ, අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාවත්, වෙනත් කිසි පුද්ගලයෙකුවත් පොලීසියෙන් එවැනි ඉල්ලීමක් සිදු කොට නැති බවයි. ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ ප‍්‍රයත්නයකට මේ වෛද්‍යවරයා සම්බන්ධ යැයි ගෙතූ කතාව පට්ටපල් බොරුවකි.

පොලීසිය කරුණු පැහැදිලි කළ පසු ඉහත කී ඝාතන කතාව වාෂ්ප විය. එහෙත් ඒ වෙනුවට වෙනත් කතා උපදී. ඒ සියල්ල, සිංහලයන් තුළ භීතියක් ඇවිළවීම අරමුණු කරගෙන පබැඳෙන ඒවා ය. මිථ්‍යා සර්පයාගේ කතාවේදී මෙන්, මෙවැනි කතා එකක් වැළලෙන විට තවත් කතා පැටව් ගසති. තවත් උදාහරණයක් ගන්න: පොතුවිල් හි පිහිටි ‘මුහුදු මහා විහාරයේ’ බුද්ධ ප‍්‍රතිමා ගණනාවක් මුස්ලිම් අන්තවාදීන් විසින් පෙරලා දමා ඇතැයි කතාවක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය. ඉන් එක් කතාවකින් කියැවුණේ, බුදුන් වහන්සේගේ අසූවක් ශ‍්‍රාවකයන් සිහිවනු වස් 2013 දී මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ගොඩනගා තිබූ මේ බුද්ධ ප‍්‍රතිමා මුස්ලිම් අන්තවාදීන් විසින් පෙරලා දමා ඇති බවයි. වර්තමාන පාලකයන්ව නැවත බලයට පත්කර ගත්තොත්, අපේ සමාධි බුදු පිළිමයටත්, තොලූවිල බුදු පිළිමයට සහ ගල් විහාරයේ පිළිමවලටත් මේ අවාසනාවන්ත ඉරණමම අත්වීමට නියමිත බව තවදුරටත් කියැවිණි. මෙවැනි ප‍්‍රකාශ තුළ ගැබ්වන අතිශය විනාශකාරී විභවය අමුතුවෙන් පහදා දිය යුතු නොවේ.

මෙය අමූලික බොරුවක් බව, ඒ ස්ථානයට ගිය, වෛද්‍යවරයෙකු සහ ග‍්‍රන්ථ කතුවරයෙකු වන පැතුම් කර්නර් වීඩියෝ සාක්ෂි සහිතව පසුව පෙන්වා දෙන ලදි. එය ප‍්‍රංශ ප‍්‍රවෘත්ති සේවයත් සනාථ කොට තිබුණි. ඇතැම් බුද්ධ ප‍්‍රතිමා කිහිපයක් බිම දිගා වී තිබෙන්නේ, තවමත් ඒවා සාදා නිම කොට නැති නිසා බව ඒ මගින් අපි දැන ගතිමු.

මේ මීනිමස් බුදින ව්‍යාජ ප‍්‍රචාරකවාදීන්ට ඕනෑම සිද්ධියක් තමන්ගේ අවශ්‍යතාවයේ හැටියට සකස් කරගත හැකි රස මසවුළක් වන්නේය. කිසිවෙකු නොදන්නා සත්ව සුභසාධන සංගමයක කිසිවෙකු නොදන්නා ආචාර්ය ටිකිරි බංඩාර ඇටිපොල නමැත්තෙකු ප‍්‍රකාශයක් නිකුත් කරමින්, බෝරාවරුන් සඳහා පසුගිය දා පැවති උත්සවය වෙනුවෙන් එළදෙනුන් සිය ගණනක් පොලූවලින් ගසා නීති විරෝධීව ඝාතනය කෙරෙන බව කියා සිටියේය. එයද කිසි සාක්ෂියක් නැති කෙබරයකි. අරමුණ වන්නේ, භීතිය ජනිත කිරීම සහ වෛරය සහ ක්‍රෝධය ඇවිළවීමයි.

ගිය සතියේ ගලබොඩඅත්තේ ඥානසාර නමැති කුප‍්‍රකට චීවරධාරියා සෑහෙන කාලයක් නැතිව සිට යළි කරලියට ආවේය. ඒ, තවත් ප‍්‍රහාර ගණනාවක් දියත් කිරීමේ මුස්ලිම් අන්තවාදී කුමන්ත‍්‍රණයක් දියත් වන බව කියා සිටීමටයි. ගෝඨාවාදී වෙබ් අඩවිවලට, උතුරෙන් ඇසෙන ඕනෑම අසාමාන්‍ය ශබ්දයක්, එල්.ටී.ටී.ඊ ය හිස එසැවීමේ මාරක පිපිරීමක හඬක් වන්නේය. වික්ටෝරියා වේල්ලේ සිදු කළ හමුදා පෙරහුරුවක් එක්තරා සිංහල පුවත්පතක් වාර්තා කෙළේ, සැබෑ ප‍්‍රහාරයක් සිදු වී ඇති සැටියක් කෙනෙකුගේ හිතේ මැවෙන ආකාරයෙනි. මේ විවිධ පන්නයේ බේගල් කතාවල අභිප‍්‍රාය වන්නේ, තමන්ගේ ජාතියේ සහ ආගමේ පැවැත්ම දෙමළුන් සහ මුස්ලිම්වරුන් විසින් අනතුරට පත්කොට ඇති බවක් ප‍්‍රමාණවත් සිංහල පිරිසකගේ හිත් තුළට කාවැද්දීමයි.

සිංහලයන් තුළ මෙසේ චේතනාන්විතව සහ නිරතුරුව අනාරක්ෂාව සහ භීතිය වැපිරීම තුළින් ඇති විය හැකි අනතුරු දෙකක් තිබේ. අප කවුරුත් දන්නා පරිදි, වචනවලට ගිනි ඇවිළවිය හැකිය. පසුගිය මැයි මාසයේ හටගත් මුස්ලිම්-විරෝධී ප‍්‍රචණ්ඩත්වය ඇවිළවුණේ, මූණුපොතේ සඳහන්ව තිබූ මුග්ධ කතාවක්, ඊටත් වඩා මෝඩ අන්දමින් අර්ථකථනය කිරීම හේතුකොටගෙන ය. එහෙත් වඩාත් බරපතල විනාශයන් ඇති කරවන්නේ, වාර්ගික සහ ආගමික ගිනි ඇවිළවීම අරමුණු කරගෙනම ඇති කෙරෙන ක‍්‍රියාවන් තුළිනි.

සුළුතර ප‍්‍රජාවන්ට එරෙහිව නැගෙන තවත් ප‍්‍රචණ්ඩත්වයක් වෙතොත් එය ජනාධිපතිවරණයට දෙයාකාරයකින් බලපෑ හැකිය. එක පැත්තකින්, ඡුන්දය දීමෙන් වැළැකී සිටින තත්වයට සුළු ජාතිකයන්ව ඒ මගින් බිය වැද්දිය හැකිය. අනිත් පැත්තෙන්, හිට්ලර් පන්නයේ ගැලැවුම්කාරයෙකුට පමණක් රටේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව ඇති කළ හැකිය යන මතයක් සිංහල ඡුන්දදායකයන් අතරේ පැලපදියම් කළ හැකිය.

සුළු ජාතිකයන්ව යටපත් පත්කිරීමට තරම් වන බිය වැද්දීමක් අරභයා මොන තරම් දේවල් කළ හැකිද යන්න විමල් වීරවංශ මෑතකදී කළ ප‍්‍රකාශයකින් පෙන්නුම් කෙරේ. පිළියන්දල පැවති මහජන රැළියකදී ඔහු මෙසේ කීය: ‘‘වර්තමාන ආණ්ඩුව පහුගිය අවුරුදු හතර හමාර තුළ දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන්ට උදව් උපකාර කළා. ඒකේ ප‍්‍රතිඵලය වෙලා තියෙන්නේ, දෙමළ සහ මුස්ලිම් සාමාන්‍ය ජනතාව අනාරක්ෂිත තත්වයකට පත්වෙලා තිබීමයි. සිංහල මිනිහෙක් ඔබලාගේ කඬේකට ඇවිත් යමක් මිලදී ගන්න පුළුවන් තත්වයක් ඇති කරගන්න ඕනේ නම්, සාමයට ආදරය කරන මුස්ලිම් ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා, එවැනි රටක් ගොඩනැගීම සඳහා ගෝඨාභය රාජපක්ෂට ඡුන්දය පාවිච්චි කරන්න කියලා.’’ ගෝඨාභය රාජපක්ෂ ජයග‍්‍රහණය කළොත්, මුස්ලිම් කඩසාප්පු වර්ජනය කිරීම මොහු කියන පරිදි අවසානයක් කළ හැකි නම්, එයින්ම අදහස් වන්නේ, එකී වර්ජනය තුළ ගෝඨාභය කඳවුරේ හස්තයක් ඇති බව නොවේද? රටේ ස්ථාවරත්වයට සහ සමෘද්ධියට ඇති මාවත ද මේ? නැතහොත් එහි අනිත් පාර්ශ්වයේ මාවත ද?

සියදිවි නාශක යටිකූට්ටුව

‘ද ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ස් යුනිට්’ පසුගිය ජුලි 11 වැනිදා ‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු කෙසේ වෙනු ඇත්ද?’ මැයෙන් වාර්තාවක් පළකෙළේය. එම වාර්තාව තුළ ඔවුන්ගේ නිගමනය වී තිබුණේ, ගෝඨාභයගේ ජනාධිපති පාලනයක් යටතේ සමාජ අස්ථාවරත්වයක් සහ ආර්ථිකයේ දුර්වලත්වයක් ඇති විය හැකි බවයි. ඊට අදාළව පෙන්වා දී ඇති කරුණු කිහිපයක් පහත පරිදි ය:

‘‘ඔහු ජයග‍්‍රහණය කළොත්, අප සිතන පරිදි, සමාජ ස්ථාවරත්වය කෙරෙහි හානිකර බලපෑමක් ඇති වීමට ඉඩ තිබේ.. සිංහල ජාතිකවාදයේ නැගීමක් සමග, රට පුරා සුළු-ජන විරෝධී රැල්ලක් ඇති වීමට ඉඩ තිබේ. වාර්ගික සහ ආගමික ආතතිය නිසා ඇති වන සමාජ නොසන්සුන්තාව දැනටමත් දේශපාලනික ස්ථාවරත්වය කෙරෙහි බරපතල අවදානමක් ඇති කොට තිබෙන බව පෙනේ.

රාජපක්ෂ මහතාගේ ජනාධිපති පාලනයක් තුළ ඇති වෙතැයි අප සිතන වාර්ගික ආතතිය, ආර්ථික වශයෙන් ඉතා වැදගත් සංචාරක ව්‍යාපාරය කෙරෙහිත් නිෂේධාත්මක බලපෑමක් ඇති කරනු ඇත. එම අංශය, දැනටමත් පසුගිය අපේ‍්‍රල් ප‍්‍රහාරයන් නිසා ඇති කෙරුණු පසුබෑමෙන් ගොඩ විත් නැත. තවදුරටත් ඒ අංශය කෙරෙහි හානි සිදුවීමෙන්, අපනයන ආදායම් මෙන්ම ආර්ථික වර්ධනයත් දුර්වල විය හැකිය..

ගෝඨාභය රාජපක්ෂ යටතේ සිදුවෙතැයි අප සිතන මාධ්‍ය නිදහසේ සහ සිවිල් නිදහසේ නායයාම් තුළ දීර්ඝ කාලීන දේශපාලනික ස්ථාවරත්වය අනතුරේ වැටිය හැකිය. ඒ සියල්ලේ ප‍්‍රතිඵලයක් වශයෙන් රටේ අනාගත ආර්ථික අපේක්ෂාවන් අඳුරු ස්වරූපයක් ගන්නා බව පෙනේ.’’

අවම අවදාමක් ගෙන තමන්ගේ ලාභාංශ උපරිම කරගනු වස්, බලයට පත්වීමට සිටින ඒකාධිපතියන් සමග කූට්ටාලිකම් කරන නායක ව්‍යාපාරික ප‍්‍රජාවක් සිටීම ලංකාවට පමණක් විශේෂිත තත්වයක් නොවේ. එවැනි අපකීර්තිමත් චර්යාවකට යොමු වීමට ඇල්ෆ‍්‍රඞ් ක‍්‍රප් සහ ෆ‍්‍රිට්ස් තයිසන් වැනි පුද්ගලයන්ටත් හැකි විණි නම්, සුමල් පෙරේරා හෝ අශෝක් පතිරගේ වැන්නන් ගැන කියනුම කවරේද? ගෝඨාභය රාජපක්ෂ සඳහා වන ඔවුන්ගේ සහයෝගය පුදුමයට කාරණයක් විය යුතු නැත. දේශපාලඥයන්ටත් වඩා ව්‍යාපාරිකයන් දුර නොපෙනෙන රෝගීන් බව ඉතිහාසයේ දැක ඇති සම්මත යථාවකි.

ඊට වඩා තේරුම්ගත නොහැකි කාරණය වන්නේ මාධ්‍යයේ, විශේෂයෙන්ම, පත්තර ඇතුළු සිංහල මාධ්‍යයේ භූමිකාවයි. ගෝඨාභය රාජපක්ෂට වාසි සහගත ඕනෑම ප‍්‍රවෘත්තියකට මේ මාධ්‍ය තුළ විශාල ඉඩකඩක් වෙන් කෙරෙන අතර, ඔහු පිළිබඳ නරකක් කියැවෙන ඕනෑම ප‍්‍රවෘත්තියක් එක්කෝ වාර්තා කෙරෙන්නේම නැත. නැත්නම්, වාර්තා කෙරෙන්නේ ඉතා අඩුවෙන් ය. උදාහරණයක් වශයෙන්, මැදමුලන කෞතුකාගාර සිද්ධිය පිළිබඳ නඩුව ඇසීම නතර කරන්නැයි ගෝඨාභය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීම සිංහල මාධ්‍ය තුළ පළවූයේ ඉතා අඩුවෙනි. එය එදා දවසේ වැදගත්ම ප‍්‍රවෘත්තියක් වුණත් සිංහල මාධ්‍ය තුළ ඊට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි.

ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝනියාවේ පවරා ඇති නඩුව, තමාගේ ලංකාවේ ජනාධිපති අපේක්ෂකත්වය පෙන්වා වීසි කරවා ගැනීමට මේ දිනවල ගෝඨාභය යත්න දරයි. එම හේතුවම ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් පෙන්වා, ජනාධිපතිවරණය අවසන් වන තෙක් තමාගේ නඩුව ඇසීම නතර කර ගැනීමට ඔහු බලාවිද? ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමට බොහෝ කලකට පෙරම, තමාගේ අපේක්ෂකත්වය පොදුජන පෙරමුණ හරහා ඔහු සහතික කරවාගත්තේ, නීතියෙන් මගහැර යාමේ උප්පරවැට්ටියක් වශයෙන් විය නොහැකිද? කෙසේ වෙතත්, ඔහු ජනාධිපති වුණොත් ඉන්පසු ඔහුට විරුද්ධව විනිශ්චයක් දීමට එඩිතර වන විනිසුරුවරයා කවුද? හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ ඉරණම අපට අමතක ද? පුතාව ඇරලීම සඳහා ගල්කිස්සේ පාසලක් අසල සිටියදී පිස්තෝල මිටකින් පහරදී පීඩාවට පත්කෙරුණු විනිසුරු මංජුල තිලකරත්නගේ කතාව අපට අමතක ද?

*“A Bridge of Fire & Blood, For Gotabaya?” නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Source:Colombo Telegraph