ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත්මග​’ දෙසුම: අධිකාරීවාදී ධාරණාවක් සහිත අනාගත දැක්මක්

ආචාර්ය ලක්සිරි ප්‍ර​නාන්දු

ආචාර්ය ලක්සිරි ප්‍ර​නාන්දු

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් තමා සතු ජාතික උපායමග හෙවත් අනාගත දැක්ම අධිකාරීවාදී පන්නරයකින් යුතුව ඉදිරිපත් කොට තිබේ. ඔහුගේ ‘වියත්මග​’ දේශනාවෙන් එය පැහැදිලි වෙයි. කෙසේ වෙතත්, තමාගේ අදහස් සහ අරමුණු සෑහෙන දුරට නිරවුල්ව ඉදිරිපත් කිරීම ගැන ඔහුට ප්‍ර​ශංසා කළ යුතුය. ආණ්ඩුකරණයක අරමුණ පිළිබඳ ඔහුගේ නිර්වචනය පහත පරිදි ය:

‘‘ඕනෑම ආණ්ඩුවක අරමුණ විය යුත්තේ, සෑහීමට පත් පවුල්වලින් සැදුම්ලත්, විනයගත සමාජයක ජීවත් වන ඵලදායී පුරවැසියන් සහිත සමෘද්ධිමත් ජාතියක් ගොඩනගා ගැනීමයි.’’

එවැනි අර්ථකථනයක් තුළ, ආර්ථිකයක් සමාජයක් සහ ජනතාවක් ඒකලාව මෙහෙයවීමේ බලය, පත්කරගනු ලබන්නේ ජනතාව විසින් වූවද, අවසානයේ පැවරෙනු ඇත්තේ ආණ්ඩුවකට ය. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කරගනු ලැබුවහොත්, එකී කාර්යය සඳහා තමන්ට වරමක් හෙවත් ‘ජනමතයක්’ ලැබී ඇතැයි ඔහු කියනු ඇත. මේ දෘඪ සංසිද්ධිය තුළ, ඉලක්ක වශයෙන් පවතින්නේ ‘සමෘද්ධිමත් ජාතිය සහ සෑහීමට පත් පවුල්’ ය. ඒවා අත්කරගත හැකි මාර්ගය වන්නේ, ‘ඵලදායී පුරවැසියන් සහ විනයගත සමාජයක්’ ය.

ඇමරිකාවේ ජීවත්ව ඇති මුත්, පැවත එන්නේ ගතානුගතික සමාජ වටපිටාවකින් වීම නිසා, ‘සෑහීමට පත් පවුල්’ ගැන මිස ‘සෑහීමට පත් පුරවැසියන්’ ගැන ඔහු වැන්නෙකු කතා නොකිරීම පුදුමයක් නොවේ. එසේම, ‘ජාතිය’ සමස්ත සංස්ථිතිය වශයෙන් ගැනීමත් එතරම් ප්‍රශ්නයක් නොවේ. එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට එය ගැඹුරට බෙදී ඇති ප්‍රපංචයක් බවත් පිළිගත යුතුය. එසේ බෙදී ඇති ජාතියට අයත් විවිධ ප්‍ර​ජාවන් සහ ආගම් ඒකරාශී කිරීමේ පැහැදිලි අදිටනක් ඔහුගේ දැක්ම තුළ ඇති බවක් පෙනෙන්ට නැත. එවැනි දැක්මක් නැති තත්වයක් තුළ, ඔහුටත් ඔහුගේ සගයන්ටත් සිදුවනු ඇත්තේ, ‘ජාතිය’ යන්න, අඩු වශයෙන් තමන්ට හෝ තම වර්ගයාට අයත් එකක් සේ ගැනීමටයි.

ජනාධිපතිවරණයකින් සහ පාර්ලිමේන්තු මැතිවරණයකින් පත්කරගනු ලබන අනාගත ආණ්ඩුවක අරමුණු ගණනාවක් තිබිය හැකිය. ඒවා සම්පූර්ණයෙන් ‘ආර්ථික සමෘද්ධිය’ යන්නට පටු කිරීම, යථාර්ථවාදී වන්නේවත්, ප්‍රායෝගික වන්නේවත්, සෑහීමකට පත්විය හැකි දෙයක් වන්නේවත් නැත. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය යටතේ, ආණ්ඩුවක් තුළ තිබිය යුතු, ඒ හා සමානම තවත් වැදගත් කාරණයක් වන්නේ, ‘ජාතික එක්සත්භාවයයි’. 2015 පත්කරගත් ආණ්ඩුවේ බරපතල වැරැද්දක් වුණේ, පටු ආර්ථික න්‍යාය පත්‍රයක්ද පැත්තකින් සඟවාගත්, පරිසමාප්ත කරගැනීමට අසමත් වූ ව්‍යවස්ථාමය වෙනස්කම්වලට කොටු වීමයි. ආර්ථික සමෘද්ධිය සහ ජාතික එක්සත්භාවය හැරුණුකොට අනාගත ආණ්ඩුවක් තුළ තිබිය යුතු තවත් ඉලක්කයක් තිබේ. එනම්, සැබෑ අරුතින් ප්‍ර​ජාතනත්‍රවා​දය ස්ථාපිත කිරීමයි. එය, පවතින ව්‍යුහයන් සහ කෘත්‍යයන් පවත්වාගෙන යාමක් හෝ ඔහු කියන පරිදි, තාක්ෂණඥ කෑල්ලක් ඊට ඇමිණීමෙන් හෝ කළ හැක්කක් නොවේ.

අන්තර්ජාතික සබඳතා පිළිබඳ තමාගේ දැක්ම ඉදිරිපත් කිරීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ වඩාත් විවාදාපන්න මාතෘකාවකට පිවිසෙයි. එනම්, ජාතික ආරක්ෂාවයි. ඒ අරභයා ඔහු ඉදිරිපත් කළ බොහෝ මූලික ආස්ථානයන්, අපේ අතීත අත්දැකීම් සමග එකට තබා සලකා බැලීමේදී, වරදක් ඇතැයි කිව හැකි දේවල් නොවේ. එහෙත්, පහත සඳහන් ප්‍රකාශය නිවැරදි එකක් විය හැකිද?

‘‘යුද්ධයෙන් පස්සේ කාලයේ, පොලීසියවත් හමුදාවවත් ජනතාවට කරදරකාරී කිසි ක්‍රියාවක නිරත වී නැත.’’

2013 ජුලි/අගෝස්තු කාලයේ රතුපස්වල ඔහුට අමතක වී ඇත්ද? එසේ නැතහොත් ඔහු කරන්නේ ඒවා සැඟවීමක්ද? රතුපස්වල සිදුවීම් ඇති වන අවස්ථාවේ ඔහු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ය. එනම්, ප්‍රායෝගික අර්ථයෙන් ගත් විට, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ය. උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙසෙන ජනතාවගේ අත්දැකීම්ද ඊට වෙනස් නැත. එම පළාත්වල නිර්-හමුදාකරණය සඳහා ඔහු කිසි පියවරක් ගත්තේ නැත. අනවශ්‍ය හමුදා කඳවුරු ඉවත් කිරීමට, එම පළාත්වල රඳවා සිටි සොල්දාදුවන් සංඛ්‍යාව අඩු කිරීමට, ජනතාවගෙන් බලෙන් අත්පත් කරගත් ඉඩකඩම් ආපසු ඒ ජනතාවට ලබා දීමට, යුද්ධ කාලයේදී හෝ ඉන් පසුව සිදු වී යැයි කියන ක්‍රෑර​ අධම ක්‍රියා ගැන විභාග කර බැලීමට ඔහු කිසිවක් කෙළේ නැත. එසේම, 2012 නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ සමූහ ඝාතනයත් අමතක කළ නොහේ. එය බොහෝ කොට අපරාධකරුවන් සම්බන්ධයෙන් මිස සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් සිදුකළ ආපදාවක් නොවුණත්, සිරගෙයක් තුළ රඳවා සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය එය නොවේ. ‘‘අපේ රට අපරාධවලින් තුරන් වෙන්න ඕනේ. මත්ද්‍රව්‍යවලින්, ත්‍රස්තවාදි මූල්‍ය ගනුදෙනුවලින්, කළු සල්ලි සහ දූෂණයෙන් තුරන් වෙන්න ඕනේ’’ යනුවෙන් ඔහු කියා තිබේ. එහෙත් ඒවාට සම්බන්ධ පුද්ගලයන් මරා දැමීම හෝ ඉවරයක් කර දැමීම, ශිෂ්ට සම්පන්න සමාජයක් තුළ ඒ ප්‍ර​ශ්න විසඳන ආකාරය නොවේ. එසේ නොමැතිව, ඔහු ‘සුජනනවාදය’ (පුද්ගලයන් අපරාධ කරන්නේ ආවේනික ගති ලක්ෂණ නිසා යැයි විශ්වාස කරන මතවාදය) පිළිගන්නා පුද්ගලයෙක්ද? එය අප සොයා දැනගත යුතුව තිබේ.

ඔහුගේ සමහර ආර්ථික ප්‍ර​තිපත්ති වැදගත් ය. ප්‍ර​ශංසාත්මක ය. එහෙත් ඒවා නොවරදිනසුළු යැයි ගැනීම ඥානාන්විත නැත. ඒ අතරින්, වඩාත් ප්‍ර​ශ්නකාරී කාරණය වන්නේ, ‘විනයගත සමාජයක්’ පිළිබඳ නිමිත්තයි. එය කුමක්ද, එය සාක්ෂාත් කරගන්නේ කෙසේද යන්න ඔහු පැහැදිලි කොට නැත. අද වඩාත්ම විනයගත නොවන, නොහික්මුණු පිරිස වන්නේ දේශපාලඥයන් ය. ඒ අය ගැන ඔහු කිසිවක් කියා නැත. ඒ වෙනුවට කතා කොට ඇත්තේ විනයක් නැති ජනතාවක් සහ සමාජයක් ගැන ය. නොහික්මුණු සහ වංචනික දේශපාලඥයන් හතර අතේ ඇත. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ඔහු පස්සෙන් සිටින බවක්ද පෙනේ. ‘විනයගත සමාජයක්’ ගැන ඔහු කතා කරන්නේ එවැනි වාතාවරණයක ය. ‘විනයගත දේශපාලඥයා’ ඔහුට අමතක වී ඇති සෙයකි.

මොහු මේ කතා කරන්නේ හමුදා විනයක් සමාජය මත මුදාහැරීමක් ගැනද? එය බරපතල ප්‍ර​ශ්නයකි. එසේ නොමැතිව, නීතියේ ආධිපත්‍යය, අධ්‍යාපනය සහ අධිකරණයේ ස්වාධීනත්වය හරහා එය කිරීමට යන්නේ නම් එය අපට පිළිගත හැකිය. එසේ වෙතත්, නෛකිත ප්‍ර​තිසංස්කරණ සහ සමථකරණය වැනි ඔහු කතා කරන අනෙකුත් දේවල්, එවැන්නක් අත්පත් කරගැනීම සඳහා ඉවහල් වන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. ඔහු වැඩියත්ම කතා කරන්නේ ‘ආරක්ෂක යාන්ත්‍රණයක්’ තුළින් එවැනි විනයක් ඇති කර ගැනීමට නම් එයට විරෝධය දැක්විය යුතුව තිබේ.

වඩාත්ම පටු සහ අශෝභන දෙය වන්නේ ප්‍ර​ජාතනත්‍රවාදය පිළිබඳ ඔහුගේ දැක්මයි. ඔහු මෙසේ කියයි:

‘‘නිසි ලෙස ක්‍රියාත්මක වන ප්‍ර​ජාතනත්‍රවාදී සමාජයක, තමන්ගේ ආණ්ඩුව පිළිබඳ ස්වකීය මතය ප්‍ර​කාශ කිරීමට, කලට වේලාවට පැවැත්වෙන මැතිවරණ හරහා ජනතාවට අවස්ථාවක් ලැබෙන්නේය.’’

ඒ මතයට අනුව, ජනතාවගේ ප්‍ර​කාශනයේ නිදහස, මැතිවරණවලට පමණක් සීමා වන්නේය. මැතිවරණ නොපැවැත්වෙන කාලවල ජනතාවගේ මතය ප්‍ර​කාශයට පත්කිරීමේ නිදහසක් සහ අයිතියක් ගැන, ඒ කාලවල මාධ්‍ය නිදහස ගැන, ආගමේ නිදහස ගැන, රැස්වීමේ නිදහස ගැන කිසි සඳහනක් එහි නැත. ‘මානව හිමිකම්’ යන යෙදුම භාවිත කිරීමෙන් පවා ඔහු වැළැකී සිටී.

මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ යනු, හමුදාකාරයෙකු මිස සිවිල් පුද්ගලයෙකු නොවේ. ඒ චෝදනාවම බොහෝ දෙනා වෙතින් 2010 දී සරත් ෆොන්සේකට එරෙහිව ඉදිරිපත් විය. ජනතාව අතරේ හෝ ජනතාව සමග වැඩ කොට තිබෙන දේශපාලනික අත්දැකීම් ගෝඨාභය රාජපක්ෂට නැත. සිවිල් ජනාධිපතිවරයෙකු යටතේ, ආරක්ෂාව පිළිබඳ කටයුතු කෙරෙහි සාධනීය මැදිහත්වීමක් කිරීමට ඔහු සමත් විය හැකිය.

රටේ අනාගතය සම්බන්ධයෙන් ඔහුගේ දැක්ම තුළ ඇති වඩාත් ප්‍ර​ශ්නකාරී කාරණය වන්නේ, අඩු කොට ඇති ජනාධිපති බලතල සහිත වර්තමාන තත්වය තුළ, මෙවැනි හමුදාකාරයෙකු තෝරා පත්කර ගැනුණොත්, එවැන්නෙකු යළිත් පූර්ණ විධායක බලය වගාදිගා කරගැනීමට ඇති ඉඩකඩයි.

*2019 සැප්තැම්බර් 13 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Gotabaya Rajapaksa At Viyathmaga: Vision With An Authoritarian Zeal! නමැති ලිපියේ සිංහල පරිවර්තනය
යහපාලනය ලංකා

Source:Colombo Telegraph